කෘෂි හා වෙනත් භාණ්ඩ හුවමාරුවට ඩිජිටල් තාක්‍ෂණය (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • කෘෂි හා වෙනත් භාණ්ඩ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

    ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් සමඟ ජනාධිපති කාර්යාලයේ අද(30) පැවති සාකච්ජාවකදී.

    වෙළෙඳ අපනයනය, පොහොර ඇතුළු සේවා සැපයුම් තොග සැපයුම්කරුවන්, තොග ගැණුම්කරුවන්, භාණ්ඩ එකතු කරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැනුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා කෘෂි බෝග අලෙවියට ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ. කෘෂි අස්වනු සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබාදීම ද මෙහි ප්‍රමුඛ අපේක්‍ෂාවක්. පහසු සහ සරල තාක්‍ෂණයෙන් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව, ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම බව, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්‍ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්‍ෂණය උපයෝගි කරගත හැක.

    අතරමැදියන්ගෙන් තොරව වැඩි මිලක් ගොවියාට ලබාගැනීමට ද මින් අපේක්‍ෂිතයි. රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්‍ෂණයට ද මෙම ක්‍රමය දායක කරගත හැක. මධ්‍යම ගමනාගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුව ද ඩිජිටල් තාක්‍ෂණ ප්‍රවාහන ක්‍රියාවලියට එක්කරගත යුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුභසාධන, වැවිලි හා අපනයන යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:03

    Latest News