ආර්ථික මධ්‍යස්ථානවල වැඩ නව කාල සටහනකට අනුව

අප්‍රේ 25, 2020

    ඉදිරි සතිය වනවිට මාළු තොග හුවමාරුව දැනට විවෘත කර ඇති ආර්ථික මධ්‍යස්ථානවලින් ආරම්භ කරන බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වත්මන් තත්වය හා එහි ඉදිරි කටයුතු සැලසුම් කිරීම පිළිබඳව සාකච්ජාවකට සහ නිරීක්‍ෂණ චාරිකාවකට අද (25) සහභාගි වෙමින් අමාත්‍යවරයා අද මේ බව කියා සිටියේය.

    නව කාල සටහනකට අනුව එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා හා ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය අතර ඇති වූ සාකච්ජාවේ දී තීරණය කෙරිණ. ඒ අනුව, පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කාලය ජංගම වෙළෙඳුන් සඳහා විවෘතව තැබෙනු ඇති. පස්වරු 2.00 සිට රාත්‍රී 12.00 දක්වා විශාල තොග හුවමාරු සඳහා මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබේ. බලපත්‍රලාභීන්ට මෙම වේලාවන්හි පැමිණ එළවළු හා පළතුරු මිලදී ගත හැක. කොළඹ මැනිං වෙළෙඳ පොළ මේ වනවිට වසා දමා ඇති නිසා ජනතාවට අපහසුවක් ඇති නොවීමට කොළඹ දිස්ත්‍රික්කයේ නාරහේන්පිට, රත්මලාන, පිළියන්දල-බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ හා වැලිසර යන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන බව, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසිලෙස පිළිපදිනවා ද යන්න දැඩි ලෙස විමර්ශනයට ලක් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ. විෂබීජානුහරණය සඳහා හෙට දිනය පුරා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වසා තැබේ.

    Latest News