ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

දෙසැ 20, 2018

    මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. 

    මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලබව පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් තිබේ.  මෙම තත්වය අවම කිරීමේ අරමුණෙන් පසුගිය දිනවල බස්නාහිර පළාත තුල ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් පසුගිය දිනවල පැවැත්විණ.  එහි දී නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු පරිශ්‍ර 60,000ක් පමණ නිරීක්ෂණයට ලක් කෙරිණ. එහි දී පරිශ්‍ර 12,500ක පමණ මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සහිත බව හඳුනා ගැනිණ.  මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,300ක් මෙහි දී හමුවිය.  ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන හා පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සුලබ බව මෙහි දී හඳුනා ගැනිණ. 

    මෙම තත්වය අවම කර ගැනීමට අදාළ ආයතන බලධාරීන් හා ප්‍රජාව කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේය.  ලබන වසරේ පාසල් ආරම්භ වීමට පෙර දෙසැම්බර් 30, 31 යන දිනවල දී දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුල පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිශ්‍රයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙස සියලු විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය උපදසේ ලබා දී තිබේ.

    Latest News