පුත්තලම අවට පැනවූ ඇඳිරි නීතිය උදෑසන 8.00ට තාවකාලිකව ඉවතට

මාර් 19, 2020

    පුත්තලම අවට පැනවූ ඇඳිරි නීතිය උදෑසන 8.00ට තාවකාලිකව ඉවතටපුත්තලම,හලාවත සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 8.00ට තාවකාලිකව ඉවත් කෙරේ. එය පස්වරු 2.00 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි, පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව, පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ මන්දලම, කල්පිටිය, වනාතවිල්ලුව, ආනමඩුව, පුත්තලම, සාලියවැව, පල්ලම, නවගත්තේගම, කරුවලගස්වැව, නොරොච්චෝලේ, උඩප්පුව යන ප්‍රදේශවලටත් හලාවත පොලිස් බල ප්‍රදේශයේ වෙන්නප්පුව,කොස්වත්ත,මාරවිල,හලාවත,මාදම්පේ,ආරච්චිකට්ටුව,දංකොටුව යන ප්‍රදේශත්,මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසම් මීට ඇතුළත්.

    ඇඳිරි නීති කාලය තුළ දී සියලුම දෙනා තම නිවෙස්වල රැඳී සිටිය යුතු අතර එය ඉවත් කර ඇති කාලසීමාව තුළ ද තම ගමන් බිමන් උපරිම වශයෙන් සීමා කිරීමට කටයුතු කරන ලෙසයි, දැනුම් දෙන්නේ. පොදු මගී සේවා හා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එය බල ප්‍රදේශ හරහා ගමන් කිරීමට අවසර ලැබෙයි. කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 08:05

    Latest News