විදේශයන්හි සිටින ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

මාර් 19, 2020

    ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස රජය විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් රජය පනවා ඇති සංචාරක තහනම නිසා නැවත ශ්‍රි ලංකාවට පැමිණීම පිළිබඳව බොහෝ දෙනා අපහසුතාවයකට පත්ව සිටියි. මේ නිස වීසා බලපත්‍ර දීර්ඝ කිරීමේ පහසුකම් ඔවුන්ට ලබාදෙන ලෙස විදේශ සබඳතා අමාත්‍යාංශය එම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

    'කොවිඩ් 19' වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සැසි මාලාවේ එක් සැසියක් බටහිර කලාපීය තානාපතිවරුන්ගෙන් ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට උදව් උපකාර කිරීම සඳහා එම රජයන් විසින් ලබාදෙන සහයෝගය විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා මෙහි දී අගය කරනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්වය හා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විදේශිකයන් අපහසුවකින් තොරව අදාළ රාජ්‍යයන් වෙත පිටත් කර හැරීම පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ. මෙරට සිටින විදේශිකයන් සඳහා වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසකින් දීර්ඝ කිරීමට රජය ගත් තීරණය පිළිබඳවත්, කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා රජය ගන්නා උත්සහය පිළිබඳවත් තානාපතිවරු මෙහිදී අගය කරනු ලැබීය. තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ හා සමාන පහසුකම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම තම රජයන් වෙත දැනුම් දෙන බවට මෙහිදී ඔවුන් පොරොන්දු විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 08:27

    Latest News