උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාදීම අවසන් අදියරට

මාර් 02, 2020

    සුදුසුකම් ලැබූ රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් දෙදහසකට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. අද සවස වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂිතයින්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතයි. පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පොස්ට් කුරියර් සේවාව මගින් ලැබීමට සලස්වා ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒ 2019 දෙසැම්බර් 31 වන දිනට පෙර රැකියා අයදුම්පත් හැත්තෑසදහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ඉන් පනස්හයදහසක් නියමිත ආකෘතියට අනූව නිවැරදිව සම්පූර්ණ කර තිබිණ. ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයකට යොමු කෙරිණ. උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත්, දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වීමෙන් පත්වීම් සඳහා සුදුසුකම් ලබා ඇත්තේ, හතළිස් දෙදහසක්. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පත්වීම් බලධාරියා වෙයි. පත්වීම් ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය කාර්යාලයට ඔවුන් වාර්තා කළ යුතුයි. ලිපිය ලැබී දින 7ක් තුළ පුහුණුව සඳහා වාර්තා නොකළ හොත් පත්වීම් අවලංගු වන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. වසරක පුහුණු කාලය තුළ රුපියල් විසි දහසක දීමනාවක් හිමි වෙයි. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලබයි. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම් ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීම අනිවාර්යයි.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 12:46

    Latest News