දේශපාලනයකින් තොරව විදුහල්පති පුරප්පාඩු පියවේ

පෙබ 16, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන මැතිවරණවලදී තම ආණ්ඩුවට වාසිවන අයුරින් මෙම විදුහල්පතිවරුන් හා පාසල් ප්‍රජාව මෙහෙයවීමට බව පවසමින් ලංකා ගුරු සේවා සංගමය ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     වත්මන් රජය බලයට පත් වූ පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු තනතුරු සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් ක්‍රියාවලියක් අනුව අවශ්‍ය බඳවාගැනීම් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගත්තේය.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය ඇතුළු සෑම තනතුරකටම අදාළ තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගත් අතර සේවා උසස්වීම් ලබාදීම මෙන් ම සේවා ස්ථාන ලබාදීම ද පිළිගත් ක්‍රමවේද අනුව සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

    ඒ අනුව පිළිගත් ක්‍රමවේද අනුව ජාතික පාසල් 302 ක පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු පිරවීම සඳහා 2018.07.20 දිනැතිව පල කරන ලද පුවත්පත් දැන්වීමට අනුව අයදුම්පත් 2018.08.14 දින කැඳවා අවසන් කරනු ලැබීය. ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ 2018 ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩල දෙකක් යටතේ සිදු කරන ලදී.

    පැවති දින 52 ක නීති විරෝධී ආණ්ඩු සමයේදී මෙහි ඇතැම් කටයුතු ප්‍රමාද වූ නමුත් ඒ ඒ පාසල් සඳහා යෝජිත විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය සහ ඊට අදාළ අනෙකුත් ලේඛන පිළිගත් ක්‍රමවේද අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත මේ වන විට යොමු කර ඇති අතර එහි නිර්දේශ ලද වහාම එම තනතුරු පිරවීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    මෙම ක්‍රියාවලිය ලංකා ගුරු සේවා සංගමය නොදන්නවා නොව, එය වඩා හොඳින් දැන අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයත්, පත්කිරීම් සිදුකරන නීත්‍යානුකූල ක්‍රියාවලියත් අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙවැනි නිවේදන නිකුත් කරමින් සිටින බව පෙනේ.

    දේශපාලන බලපෑමකින් තොරව රාජ්‍ය සේවයේ කටයුතු ස්වාධීනව සිදුකිරීමට වර්තමාන රජය මූලිකත්වය ගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවන ලද අතර ලංකා ගුරු සේවා සංගමයේ මෙම ප්‍රකාශය මගින් එහි කටයුතු ද අභියෝගයට ලක් කර ඇත.

    එසේම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරමින් එවන ලද ලිපිය අමාත්‍යවරයාට ලැබීමටත් පෙර මාධ්‍ය වෙත ලබාදීමෙන් පෙනී යන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මව්පියන් ඇතුළු සාමාන්‍ය ජනතාව නොමග යැවීමේ මාධ්‍ය සංදර්ශනයක ලංකා ගුරු සේවා සංගමය නිරත වන බවයි.

    Latest News