සත්‍යග්‍රහයක නිරතවූ අන්තරේ විසි දෙදෙනා යළි රිමාන්ඩ්

මාර් 02, 2020

    අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

    ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ද මෙම සැකකරුවන් විසි දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

    මෙහිදී නීතිඥවරු සඳහන් කර සිටියේ තම සේවාදායකයින් ලබන 10 වැනිදා විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටින එයින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් දැඩි අගතියක් සිදුවන බව දන්වා සිටියේය.

    එම නිසා ඔවුන් ඇප මත මුදා හරින ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී පොලීසිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සමඟ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බව කියා සිටියේය.

    සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව දැක්වෙන අධිකරණ නියෝගය සැකකරුවන් විසින් ඉරා දමා ඇති බවත් ඔවුන්ට ඇප ලබා දුනහොත් නැවතත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහ ක්‍රියාවල නිරත වීමට ඉඩකඩ පවතින බවත් මෙහිදී පොලීසිය පෙන්වා දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම බරපතළ තත්ත්වයක් බවයි.

    එය වැරදි සහගත ක්‍රියාවක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම අවස්ථාවෙහි සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.

    ඒ අනුව ඔවුන් ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවාය.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 12:02

    Latest News