පාස්කු ප්‍රහාරයට වසර 3කට පෙර තුර්කි රජයෙන් ත්‍රස්තයින් 50කගේ නම් ඉදිරිපත් කරලා...ජනාධිපති කොමිසමේ දී හෙළි වෙයි

පෙබ 22, 2020

    පාස්කු ප්‍රහාරයට වසර 3කට පමණ පෙර තුර්කි රජය,ෆෙටෝ ත්‍රස්ත සංවිධානයේ පුද්ගලයින් පනස්දෙනෙකුගේ නම් සහිත ලේඛනයක් මෙරට විදේශ අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබූ බව ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී හෙළි විය.

    තොරතුරු හෙළිදරව් කෙරුණේ, කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් සූරියප්පෙරුම මහත්මිය විසින්.

    විදේශ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් 2019 වසරේ අප්‍රේල මස 30 වැනිදා සිදු කරන ලද ප්‍රකාශයක් මත දෙස් - විදෙස් මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් කොමිසම ඊයේ කරණු විමසීය. එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, ෆෙටෝ සංවිධානයේ පුද්ගලයින් පනස් දෙනා සම්බන්ධයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති විසින් එවන ලද ලිපිය සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මාධ්‍යයට අදහස් පළකර ඇති බවයි. ඒ අනූව, දෙස් - විදෙස් මාධ්‍ය එම ප්‍රකාශය උපුටා දක්වමින් වාර්තා පළ කර ඇති බවයි, ඇය සඳහන් කළේ. සාක්ෂි ලබා දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මෙම ලිපිය සම්බන්ධව 2019 වසරේ මැයි 3 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කළ ද මෙතෙක් ඊට පිළිතුරු ලැබී නොමැති බවයි.

    එවිට කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද සිදු නොකළ බවයි. තුර්කි රජය එවූ රහස්‍ය ලේඛණයක් මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශයට ලැබී තිබූ අතර ඒ පිළිබඳව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී දැනුවත් කර ඇති බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් සූරියප්පෙරුම මහත්මිය සදහන් කලාය. විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව මෙම ලිපි හා තොරතුරු හුවමාරුවී ඇති බවත් ඇතැම් අවස්ථාවල අදාළ බලධාරීන් වෙත එම ලිපි ලැබී නොමැති බවත් කොමිසම හමුවේ අනාවරණය විය.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 12:43

    Latest News