දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ “දිවිනැඟුම” සම්බන්ධ පරීක්ෂණය

ජූලි 28, 2020

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්‍ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්, වෛද්‍ය නිහාල් ජයතිලක සහ “දිවිනැඟුම” අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන මහත්වරුන් 2015 අප්‍රේල් මස 22 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යාමට අදාළව, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ විමර්ශන ඒකකය, කොළඹ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරියාගෙන් අද ප්‍රකාශ සටහන් කර ගැනිණ.

    එම බන්ධනාගාර නිලධාරීන් අද උදේ 9.30ට කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස, ජනාධිපති කොමිෂන් සභාව ඊයේ බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය. “දිවිනැඟුම” හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශනයේ දී, ජුලි 17 වැනිදා කළ සාක්‍ෂි විභාගයේ දී ඊට අදාළ කරුණු කිහිපයක් හෙළිදරව් විය.

    නඩු තුනකට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ “දිවිනැඟුම” අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන මහත්වරුන් සැකකරුවන් ලෙස, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ භූමියට බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ බවට, එහිදී කරුණු ප්‍රකාශ විය.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ භූමියට එලෙස බන්ධනාගාර බස් රථයක් පැමිණියේ කෙසේ ද, යන්න විමර්ශනයක් සිදු කරන ලෙස, කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළේය.

    එම නියෝගයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා එම බන්ධනාගාර බස් රථයට අදාළ තොරතුරු සහ ඊට අදාළ නිලධාරීන් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබුණේ. ඒ අනුව, කොළඹ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් අදාළ ලේඛනත් සමඟ අද කොමිෂන් සභාව හමුවට පැමිණ සිටියේය.

    Latest News