පසුගිය ආණ්ඩුවේ දූෂණ විරෝධි කමිටුව, ව්‍යවස්ථාවට විරුද්ධයි - විජයදාස

ජූලි 30, 2020

    යහපාලන ආණ්ඩු සමයේ පිහිටුවනු ලැබූ දූෂණ විරෝධි කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පිහිටුවා ඇති බව අචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ සාක්‍ෂි ලබාදුන් අවස්ථාවේදීය.

    ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුව, කරුණු දැක්වීම සඳහා විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ කොමිසමට කැඳවා තිබිණි. සාක්‍ෂි ලබා දෙමින් විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධි කමිටුව ජාතික විධායක සභාව නමින් හඳුන්වන නෛතික නොවන ආයතනයකට අනුගතව දේශපාලන වශයෙන් රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම වෙනුවෙන් ස්ථාපනය කර ඇති බවයි.

    ජාතික විධායක සභාව පිහිටුවීම නීති විරෝධි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කිරීම හේතුවෙන් තමා එවකට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග, මංගල සමරවීර මෙන්ම රවී කරුණානායක යන මහත්වරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ බව විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

    එහිදී කොමිසම, විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටියේ ස්වාධීන පරීක්‍ෂණවලට ජාතික විධායක සභාව බාධාවක් ද යන්නයි. “මේක දේශපාලනීකරණය වීමක්, මේ කාරණා නිසා තමයි ඒ ආණ්ඩුව එක්ක ගැටුම් ඇතිවුණේ මේක කැලෑ නීතියක්” යනුවෙන් ඊට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ජාතික විධායක සභාවේ ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ සහ මංගල සමරවීර යන මහත්වරුන් මූලිකත්වය ගෙන කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.

    ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවෙහි මූලිකවම රාජපක්‍ෂ රෙජිමයට එරෙහි නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවූ බව රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවේ මූලික පරමාර්ථය වී ඇත්තේ, පුද්ගලයින් 15 දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමක් විය හැකි බවයි. එක් අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකදී ඇවන්ට්ගාඩ් නෞකා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටි බවත්, එහිදී ඔහු “මේක ස්වර්ණමය අවස්ථාවක්, ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශ කළ බවත් විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

    එමෙන්ම 2016 වසරේ ජනවාරි 29 වැනිදා රාජිත සේනාරත්න, පාඨලි චම්පික, සමන් රත්නප්‍රිය, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, මහාචාර්ය සරත් විජේසුරිය යන මහත්වරුන් සමඟ පැවති සාකච්ජාවකදී “නිදහස් දිනයට පෙර යෝෂිත අත්අඩංගුවට ගත යුතුයි” යනුවෙන් රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික ප්‍රකාශ කළ බවත්, ඉන් දින දෙකකට පසු යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගනු ලැබූ බවත්, විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ බහුතරයකගේ මතය වී තිබුණේ අධිකරණ අමාත්‍යවරයාගේ නියෝගයෙන් දේශපාලන අවශ්‍යතා මත නඩු පැවරීම සහ ඉවත්කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.

    මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීම නීති විරෝධි බව එවකට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට තමා පෙන්වා දුන්නද, රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය පරිදි අන්ත දූෂිත අර්ජුන් මහේන්ද්‍රන් එම තනතුරට පත් කළ බව විජයදාස රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. යහපාලන ආණ්ඩුවේ සිදුවූ එම දූෂිත ක්‍රියාවලියන්ට එරෙහිව තමා පෙනී සිටි බැවින්, හොරු ආරක්‍ෂා කරන අමාත්‍යවරයා ලෙස තමා හංවඩු ගැසූ බවත්, අධිකරණ අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වුවත්, තමා කිසි වරදක් නොකළ හෙයින් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන තුරුම ඉල්ලා අස් නොවූ බවත්, විජයදාස රාජපක්‍ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

    Latest News