පාඨලිගේ රියදුරුට ඇප; යළි කැඳවීම පෙබරවාරි 24

ජන 06, 2020

    රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලීගේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියම කර තිබේ.

    මෙම පැමිණිල්ල අද(06) කැඳවූ අවස්ථාවේදී නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කර සිටින දැනට ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිට ඇත.

    මෙහිදී රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වන තුසිත කුමාර නැමැත්තාට ඇප ලබා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එම ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද ප්‍රකාශ කර ඇත.

    ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

    මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ නඩුවේ පළමුවන සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ ජංගම දුරකථනය ඔහුගේ රියැදුරු භාරයේ තිබු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය ප්‍රකාශය තුළින් සඳහන් කළ ද අමාත්‍යවරයාගේ ජංගම දුරකථනය සහ ඔහුගේ රියදුරාගේ ජංගම දුරකථන සංඥා පරීක්ෂාකිරීමේදී මාර්ග දෙකක ගමන් කරමින් තිබූ බව සනාථ වී ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා ප්‍රකාශ කර ඇත.

    තුසිත කුමාර නමැති සැකකරුව බලවත් පුද්ගලයෙකු විසින් සඟවාගෙන සිටි බවට ඔහු පොලිසියට ලබාදුන් ප්‍රකාශ තුළින් සඳහන් කර ඇතැයි කී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඊට නීතිඥවරුන් සම්බන්ධ බවයි චෝදනා කර සිටීයේ.

    මෙම තත්වය හමුවේ අදාළ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප නියම කිරිම තුලින් ඉදිරියේ දී ප්‍රකාශ ලබා දීමට නියමිත සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවට පිළිගත හැකි කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින බව නියම කර තිබේ.

    ඒ අනුව අදාළ සැකකරු රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතුවලට උපරිම සහාය ලබාදිය යුතු බවටද නියම කර ඇත.

    එමෙන්ම සැකකරුගේ ඇපකරුවන් පදිංචිය තහවුරු කළ යුතු බවටත් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරු දින සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද කොන්දේසියක් පණවනු ලැබිණි.

    මෙහිදී සැකකාර චම්පික රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ඇප නියම කිරීමේදී සෑම මසකම අවසන් ඉරුදින පොලිසියට වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පැනවූ බව සඳහන් කර තිබේ.

    එම කොන්දේසිය සංශෝධනය කර සෑම මසකම අවසන් ඉරුදින වෙනුවට වෙනත් ඕනෑම දිනයක් පොලිසියට වාර්තා කිරීම සඳහා ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නියම කර තිබේ.

    අනතුරුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 24 වනදා කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දී ඇත.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 12:52

    Latest News