මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට පාඨලීගේ නඩුව යළි කැඳවීමට දිනයක්

ජූනි 27, 2022

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ජූලි මස 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණය නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.   

    එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දස දෙනා විසින් පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් විත්තිය වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි.  

    ඒ අනුව එම ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඉදිරි දිනට පෙර අධිකරණය දැනුවත් කරන බවයි, විත්තියේ නීතිඥවරු සඳහන් කළේ. 

    එමෙන්ම, මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන බවද මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණ. 
    ඒ අනුව, අදාළ මූලික විරෝධතා ජුලි මස 18 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

    2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. 

    Latest News