පාඨලීගේ නඩුවේ සාක්ෂි විමසීම යළි මැයි 6 වැනිදා

අප්‍රේ 04, 2022

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 06 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට ලැබිය යුතු ලේඛන සියල්ල මේ වන විට ලැබී තිබෙන බව සඳහන් කළේය. 

    මෙහිදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින සාක්ෂි දීමට නියමිත සිද්දීක් මොහොමඩ් සුබයිර් නමැති සාක්ෂිකරුගේ සාක්ෂිය අද දින සටහන් කරගැනීමට ආරම්භ වුවහොත් විත්තියේ හරස් ප්‍රශ්න විමසීම අද දින තුළ අවසන් කිරීමට නොහැකි වනු ඇතැයි දන්වා සිටියේය. 

    ඒ අනුව දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 6 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට විනිසුරුවරයා නියම කළේය.

    මෙහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය මේ මස 7 වැනිදාට නියම කොට ඇති බවත් එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් තම සේවාදායකයාට එදින නඩු විභාගය සඳහා සහභාගි වීමට නොහැකි වන හෙයින් එම නඩු දිනය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. 

    එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ වර්තමානයේ රටේ උද්ගතවී තිබෙන තත්ත්වය දෙස බැලීමේදී එම ඉල්ලීම සාධාරණ බව අධිකරණයට පෙනී යන බවයි.

    ඒ අනුව ලබන 7 වැනිදා යෙදී තිබූ නඩු දිනය අවලංගු කරන බවත් විනිසුරු වරයා සදහන් කළේය.

    2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ. 

    Latest News