උදාවන විසිඑක් වැනි සියවසේ තුන්වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත් කර ගනිමු..අගමැති

ජන 01, 2020

    ජනවාරි පළමුවැනිදා උදාවන විසිඑක් වැනි සියවසේ තුන්වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපි පත් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 නව වසර උදාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

     එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    නව වසරේ උදාවත් සමඟ අපි 21 වැනි ශත වර්ෂයේ තුන්වැනි දශකයට පා තබමු. මේ ආකාරයට ශ්‍රී ලංකාව නව දශකයට පා තබන්නේ පසුගිය මාසයේ අති විශාල ජනවරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමක් තුළය. එයත් සමඟම අලුත් පාර්ලිමේන්තු ආණ්ඩුවක් ද පිහිටුවා මේ වන විට වැඩ ආරම්භ කරමින් සිටී. මේ බල පෙරළියත් සමඟම අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ තරුණ පරපුර අතර පැතිරී ගොස් ඇත. මේ රැල්ලේ වැදගත්ම ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමකින් තොරව රටපුරාම තරුණ තරුණියන් ස්වේච්චාවෙන්ම සංවිධානය වී අලුත් රටක් ගොඩ නැඟීම සඳහා නායකත්වය ගෙන තිබීමයි. රට පුරාම පොදු ස්ථානවල බිත්ති පිරිසිදු කොට ඒවායේ ආකර්ශනීය චිත්‍ර ඇදීමේ තරුණයන් යෙදී සිටින ආකාරය අපි දකිමු.

    මෙයින්, දවස් ගණනක් ඇතුළත මුළු ලංකාවම වෙනස් විය. තවත් තරුණ පිරිස් මේ ආකාරයටම ස්වේච්චාවෙන් සංවිධානය වී ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් අත්හදා බලමින් සිටින බවත් සමාජ ජාලාවල තැන් තැන්වල පළ වී තිබෙනු මම දැක ඇත්තෙමි. මේ සෑම දෙයක්ම සිදුවෙමින් පවතින්නේ සමාජ ජාලා හරහා ඇතිවන සබඳකම් ඔස්සේය. තමන්ගේ රට තමන් විසින්ම ගොඩනගනවාය යන අධිෂ්ඨානයෙන් උපන් මේ තරුණ උද්යෝගය අලුත් දශකයකට අවතීර්ණ වන අපට ඇති වටිනාම සම්පතයි. මීට කලින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටද මේ ආකාරයටම තරුණයන් අතර උද්යෝගයක් ඇතිවිය. එදා සිටි තරුණයන් ආපසු හැරී බැලුවේ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුව පමණි.

    අද රට ගොඩනැගීමට ඇති වී තිබෙන උද්යෝගයෙන් ක්‍රියාත්මකව සිටින තරුණ පරපුරත් ආපසු හැරී බලන්නේ ඔවුන් බලාපොරොත්තු වන සෞභාග්‍යමත් දේශය ගොඩනැගීමෙන් පසුව පමණක් බව මගේ විශ්වාසයයි. එය මගේ බලාපොරොත්තුවයි. විසි එක් වැනි සියවස ආසියාවේ සියවස හැටියට ලෝක ප්‍රජාව හඳුනාගෙන සිටී.

    මෙම ජනවාරි පළමුවැනිදා උදාවන විසිඑක් වැනි සියවසේ තුන්වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපි පත් කැර ගනිමු. කවදා හෝ 21 වැනි සියවසේ මේ තුන්වැනි දශකය දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කරළියට ආ දශකය හැටියටයි. එළඹෙන්නා වූ 2020 නව වසර හා ආරම්භවන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන, රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 07:43

    Latest News