ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇති - ජනාධිපති

ජන 01, 2020

    නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 නව වසර උදාව සමරමින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික,දේශපාලන,සමාජීය,සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවයි.

    අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසයයි.

    එසේම විනයගරුක සමාජකයක් තුළ ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව බව ද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස, ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගනු යුතුය.

    නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග්‍රහනයකි. ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක්, සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසයි.

    නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි, මාගේ දැඩි විශ්වාසයයි. ප්‍රාර්ථනයයි.

    අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුමවන නව වසරක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 07:36

    Latest News