ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX ගෝලීය සම්මානයට පාත්‍රවෙයි

සැප් 17, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර විය.

    ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය. අඛණ්ඩව 3 වන වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පංතියේ සේවා ඇගයුම් ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විම මෙහි ඇති විශේෂත්වයකි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා “අපගේ සංචාරක කර්මාන්තය විනාශකාරී සිදුවීමකින් පසු නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අපේ රටට හිමිවූ සම්මානයක් ලෙස අපි මෙම සම්මානය සලකනවා. රටවල් ගණනාවක මිලියන සංඛ්‍යාත ජනකායක් වෙත ළඟා වූ මෙම නව්‍ය අලෙවිකරණ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් සාමාජිකයින්ට මෙහි සියලුම ගෞරවය හිමි විය යුතුයි.”යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කටාර් එයාර්වේස් සහ වර්ජින් අත්ලාන්තික් යන ගුවන් සමාගම් විසින් මෙම කාණ්ඩය යටතේ තරඟ වැදුණු අතර ඒ අතරින් ශ්‍රීලංකන් අලෙවිකරණ ප්‍රයත්නය ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්නා ලදී. ඇපෙක්ස් (www.apex.aero) යනු ලොව එකම ලාභ නොලබන සාමාජික වෙළඳ සංගමය වන අතර එය ගුවන් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්, ගුවන් සැපයුම්කරුවන් සහ අදාළ සමාගම් එකතු වූ ජාලයක් වන අතර එය සමස්ත ගුවන් මගී අත්දැකීම් වැඩිදියුණු කිරීමට කැපවී සිටී.

    මෙම සම්මාන උළෙල ඇපෙක්ස් එක්ස්පෝ වාර්ෂික ව්‍යාපාර සමුළුවට සමගාමීව සැප්තැම්බර් මස 9 වන දින සිට 12 වන දින දක්වා ලොස් ඇන්ජලීස් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. සැප්තැම්බර් මස 9 වන දින ලොස් ඇන්ජලීස් හි පැවති උත්සවයකදී ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරි ජෝෂුවා බුස්ටෝස් මහතා සම්මානය ලබා ගත්තේය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා මහතා “වෙසක් පොහොය දිනය වෙනුවෙන් අපගේ නව අලෙවිකරණ වැඩසටහනක් වන‘Spirit of Vesak at BIA’’සඳහා මෙම සම්මානය ලැබීම ගැන අපි සතුටු වෙනවා. එකමුතුකම, ත්‍යාගශීලීත්වය සහ කරුණාව දයාව වැනි ශ්‍රී ලංකාවටම ආවේනික සංස්කෘතික ලක්ෂණ මෙන්ම වටිනාකම් මෙමගින් සංකේතවත් වුණා. එසේම ජාතික වැදගත්කමක් ඇති උත්සව සිහිපත් කරමින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සියලු ජාතීන් අතර මිත්‍රත්වයෙන් සමගිය සහ සහජීවනයෙන් ජීවත් වන රටක් බව ලොවටම කියාපෑවා. ඒ වගේම අපගේ අලෙවිකරණ ව්‍යාපාරවල කාලෝචිතභාවය සහ විශිෂ්ට ආකර්ෂණීය බව සහතික කිරීම සඳහා අපි සැමවිටම උත්සාහ කරනවා. මෙම සම්මානය අපගේ එම උත්සාහයේ සාර්ථකත්වය සනාථ කරනවා”. යැයි ද ඒ මහතා වැඩිදුරටත්පැවසීය.

    ශ්‍රී ලංකාවේ බොහෝ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර එකමුතුකම හා සහජීවනය විදහා දැක්වීම සඳහා වෙසක් උත්සවය කේන්ද්‍ර කර ගත් මෙම වැඩසටහන ලොව පුරා සිටින මිලියන 7.6 ක ජනතාවක් නරඹා ඇති අතර යූ ටියුබ් සහ ෆේස්බුක් හරහා සජීවීව විකාශය මිලියන 1.2 ක් නැරඹිමද විශේෂත්වයකි.

    මෙවර උදා වූ වෙසක් දිනයේ දී වෛර සිත් නැතිව, සතුරු බාධා නැතිව සියළු සත්ත්වයින් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත පැතිරවිය යුතුය යන කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන උතුම් බුද්ධ වචනය මූලික කර ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබිණි.

    ලෝකවාසී සැදැහැති බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මූලික කරගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විවිධ කලා හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය, ගුවන් යානා ඉන්ජිනේරුවන්, පරිපාලන කාර්ය මණ්ඩලය, විගණකවරුන් , ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය සහ ප්‍රවීන ගායන ශිල්පීන් ද සංචාරකයින්විනෝදාස්වාදයට පත් කිරීමට එක්වූහ.

    මෙම සම්මානලාභී ප්‍රයත්නයේදී ශ්‍රීලංකන් කේටරින් අංශය අඛණ්ඩව පැය 12 ක් පුරා ගුවන්තොටුපළට පැමිණි සංචාරකයින් වෙනුවෙන් සේවා පහසුකම් සලසන ලදී.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 109 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

    srilankan2 px 900 19 09 17

    srilankan1 px 900 19 09 17

    Latest News