මෙරට ප්‍රථම “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතිය තංගල්ල, රැකව කලපුවට

සැප් 14, 2019

    මෙරට ප්‍රථම “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතිය තංගල්ල, රැකව කලපුව ආශ්‍රිතව ඉදිකර තිබේ.

    මෙරට කකුළුවන් සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරා ගැනීමේ අරමුණින්, අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ යෝජනාවකට අනුවයි.

    මෙතෙක් මෙරට ස්වභාවික කලපුවලින් අල්ලා ගන්නා කකුළුවන් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය ආදී රටවලට අපනයනය කෙරිණ. එහෙත්, පාරිසරික හේතූන්මත මෙරට කකුලු ගහනය අඩුවෙමින් පැවතීම හේතුවෙන් පවතින ඉහළ ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වී තිබේ. මෙරට කකුළුවන්ට සිංගප්පුරුව ප්‍රමුඛ කලාපීය රටවලින් ඉහළ ඉල්ලුමක් ඇති අතර, කිලෝවක් අලෙවි කෙරෙන්නේ, රුපියල් 3,500කට පමණ. මේ නිසා තංගල්ල රැකව ප්‍රදේශයේ සම්ප්‍රදායික ධීවර පවුල් 16ක් යොදාගෙන මඩ කකුළු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. ඒ ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින්.

    ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ ධීවර සමිති සභාපති ජයන්ත ජයවික්‍රම මහතා...

    “සාම්පල අරගෙන ගිහිල්ලා සම්පුර්ණම ගත්ත සුදුසුම පරිසරය මෙතන තමයි කකුළු වගාවට කියලා. සම්පුර්ණ වැඩ කටයුතු නිම කරලා දැන් ගොවීන්ට බාරදීලා තියෙන්නේ ඒකට අවශ්‍ය අනෙක් පැටව් මුදා හරින්න. ව්‍යාපෘතිය සාර්ථිකයි. මේකේ ආදායම සම්පූර්ණයෙන්ම ගොවි මහත්වරුන්ට ලැබෙන්නේ. වියදම් කරමු මුදල්වත් රජය ගොවීන්ගෙන් අය කරගන්නේ නැහැ“ යැයි ධීවර සමිති සභාපති ජයන්ත ජයවික්‍රම මහතා පැවසීය.

    අක්කර 42ක මඩ පොකුණු ඉදිකර ක්‍රියාත්මක ව්‍යාපෘතියට රුපියල් මිලියන 250ක් වැය කර ඇති අතර, එහි ඉදිකිරීම් 95%ක් අවසන්.

    ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතා...

    “අභිජනන තාක්‍ෂණය ලංකාවේ දියුණු වෙලා තිබුණේ නැහැ. වර්ෂ දෙකක් වගේ කාලයත් ඇතුළත ඒ තාක්‍ෂණය ලංකාවේ ස්ථාපිත වුණා. මේ කකුළු පැටවුන් ලංකාවේ අභිජනනය කරනවා. “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතිය යටතේ මේ පළාතට විශාල ආදායමක් ගේනවා වගේම මේකෙන් විශාල පණිවුඩයක් ලංකාවේ අනෙක් සෙසු පළාත්වලට ගෙනියනවා. මේ වගේ පොකුණුවල කකුළුවන් වගා කරන්න පුලුවන් කියන එක. ලංකාවේ කලපු කකුළුවන්ට තියෙන විශේෂ ඉල්ලුම අපිට සපුරන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ වගාවට අපි අනිවාර්්‍ය යෙන්ම යොමු වෙන්න ඕනේ. ඒක ප්‍රචලිත කරන්න ඕනේ. ඒකෙන් විශාල විදේශ විනිමයක් මේ රටට ගේන්න පුලුවන්. මේ එක කකුළුවෙක්ගේ සාමාන්‍ය කිලෝවක් රුපියල් 3500ක් 4000කට විතර අලෙවි වෙන්නේ. මෙට්‍රික් ටොන් 60ක වගේ නිෂ්පාදනයක් ව්‍යාපෘතිය ඔස්සේ ගෙනියන්න පුලුවන් වෙයි. විශේෂයෙන් මේ රැකව කලාපයේ විදේශීය සංචාරකයින්ගෙන් බහුල ප්‍රදේශයක්“ යැයි නිමල් චන්ද්‍රරත්න මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 19:40

    Latest News