භාණ්ඩ හා සේවා අපනයන ආදායම අ.ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

ජන 29, 2021

    අපේක්ෂිත ඉලක්ක අභිබවමින් පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවා තිබේ. මේ බව දැක්වෙන්නේ, අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල.

    පසුගිය වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කළ සංශෝධිත භාණ්ඩ හා සේවා අපනයන ආදායම වූයේ, අමෙරිකානු ඩොලර් බිලියන 9.5ක්. එහෙත් වර්ෂ අවසානයේ එම ආදායම වාර්තා වුණේ, අමෙරිකානු ඩොලර් බිලියන 9.9ක ඉහළ අගයක් ලෙසයි. ඒ අනූව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වර්ධනය සියයට 104ක් වෙයි. කොවිඩ් 19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමට පෙර අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 13.5ක අපනයන ආදායමක්.

    එම වසංගතයත් සමග එම ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් ලෙසයි, සං‍ශෝධනය කෙරුණේ. කොවිඩ් 19න් ප්‍රබල බලපෑමක් එල්ල වූ ඇගලුම් අපනයන අංශය 2020 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 4.4ක ආදායමක් වාර්තා කලේය.

    එම වසර සඳහා ඇගලුම් අපනයන ඉලක්කය වී තිබුණේ, අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක්. පොල් සහ පොල් ආශ්‍රිත අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 6.6ක්, කුළු බඩු අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් සහ අනෙකුත් අපනයන බෝග අමෙරිකානු ඩොලර් බිලියන 0.67ක් ලෙසයි, වාර්තා කර තිබුණේ.

    2019 වර්ෂයට සාපේක්ෂව කෘෂි අපනයනය ද ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. ඉකුත් වසරේ ජනවාරි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1004.9ක් ලෙස වාර්තා විය.

    මාර්තු මාසයේ දී එය අමෙරිකානු මිලියන 656ක් සහ අප්‍රේල් මාසයේ දී මෑත ඉතිහාසයේ අවම අපනයන ආදායම වාර්තා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 282.3ක් දක්වා පහත වැටු‍ණේ, කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්. නැවතත් ක්‍රමයෙන් වර්ධනය වූ මෙරට අපනයන ආදායම 2020 ජුලි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1058ක වාර්තාගත අගයක් දක්වා වර්ධනය විය.

    කොවිඩ් 19 දෙවැනි රැල්ලත් සමග නොවැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 819 දක්වා පහත වැටුණු මෙරට අපනයන ආදායම දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ‍ඩොලර් මිලියන 931.65ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News