මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම

අගෝ 26, 2021

    'කොවිඩ් 19' වසංගත තත්වය ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ ඩොලර් බිලියනයක් ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

    ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනූව මේ වසරේ (2021) ජූලි මාසයේ දී රුපියල් කෝටි 21,768.32ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,099.41) අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම ලෙස ඉතිහාසයට එක් වන බව, අපනයන සංවර්ධන මණ්ලය පෙන්වා දෙයි.

    පසුගිය 2020 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,085ක් වූ බව පෙන්වා දෙන අපනයන සංවර්ධන මණ්ලය එම අගය ඉක්මවා යමින් මේ වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි පවසයි.

    මීට පෙර මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාව අවසන් වරට ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකළ බව පෙන්වා දෙන එම මණ්ලය, මේ අනූව, 2021 මුල් මස 07 තුළ ශ්‍රී ලංකාව ලබා ඇති මුළු අපනයන ආදායම රුපියල් කෝටි 131,890.37 (ඩොලර් මිලියන 6,661.13) කි.

    මෙය 2020 වසරේ මුල් මාස 07 අපනයන ආදායම වන රුපියල් කෝටි 107,960.09 (අමෙරිකානු ඩොලර් මිලියන 5,452.53)ට සාපේක්ෂව 22.17%ක ඉහළ යාමකි.

    වැඩිම අපනයන ආදායම ඇඟලුම් අංශය‍ෙන් ලැබී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 452.55ක් වේ.

    එසේම තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 115.13ක ආදායමක් උපයා ගෙන තිබෙන අතර රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 96.65 ක් ද ලැබී ඇත.

    පොල් ආශ්‍රිත නිෂ්පාදන ද අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.67ක් ලෙස අපනයන ආදායම සඳහා ඉහළ දායකත්තවයක් දුන් අංශ අතර වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 අගෝස්තු 2021 10:47

    Latest News