ප්‍රංශය ඛනිජ තෙල් බද්ද අත්හිටුවයි.

දෙසැ 04, 2018

    නැගී එන උග්‍ර ජනතා විරෝධය හමුවේ ප්‍රංශ රජය එරට ඛනිජ තෙල් බද්ද මාස 6කට අත්හිටුවයි.

    ජනතා විරෝධතාවලදී ඇතිවූ ගැටුම්වලින් තිදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. දෙසතියකට අධික කාලයක සිට ප්‍රංශ ජනතාව අධික ඉන්ධන බද්දට එරෙහිව පෙළපාලි පවත්වමින් සිටිති. විරෝධතාකරුවන් කහ පැහැති ආරක්‍ෂක කබාවලින් සැරසී සිටීම, විශේෂ ලක්‍ෂණයකි.

    නගර රැසක විරෝධතා පැවැත්විණ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත යමින් තිබියදී ප්‍රංශ රජය ඉතා ඉහළ ඉන්ධන බද්දක් ක්‍රියාත්මක කළේය. මෙය, ජනාධිපති එමානුවෙල් මැක්‍රන්ගේ තීරණයකි. පරිසර හිතකාමී වාහන භාවිතය සඳහා ජනතාව යොමු කරවීමට ඉන්ධන මිල ඉහළ මට්ටමක තිබිය යුතු බව, මැක්‍රන්ගේ තර්කයයි.

    එහෙත්, ප්‍රංශ ජනතාව පවසන්නේ, අධික ඉන්ධන මිල නිසා, ආර්ථික වශයෙන් තමන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි. උද්ඝෝෂණ සති අන්තයේ දී ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ඉසිලීය. හදිසි රැස්වීමකින් පසු, ඉන්ධන බද්ද 6 මසකට අත්හිටුවීමට රජය තීරණය කළ බව අගමැති එඩුවාඩ් පිළිපේ ප්‍රකාශ කළේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News