බොරතෙල් මිල මාස 4ක් තුළ ඉහළම අගයට

සැප් 16, 2019

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මාස 4ක් තුළ වාර්තා කළ ඉහළම අගයට පැමිණ තිබේ. සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන සංකීර්ණයන් දෙකක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුවයි, මෙම මිල ඉහළ යාම සිදුවුණේ.

    මේ අනූව, බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 19%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනූව, එම වෙළෙඳපොළ බොරතෙල් බැරලයක නව මිල සඳහන් වන්නේ, අමෙරිකානු ඩොලර් 71යි දශම 95ක් ලෙසයි. අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ, 15%කින්.

    ඒ අනූව, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ, අමෙරිකානු ඩොලර් 63යි දශම 34කටයි. විනාශයට පත්වූ සෞදි ඉන්ධන සංකීර්ණයන් දෙකේ කටයුතු යථා තත්වයට පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය පිටුපස ටෙහෙරාන පාලනය සිටින බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේය. අදාළ චෝදනා ඉරාන පාලනය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 10:24

    Latest News