සින්වාර්ට නෙතන්යාහුට වරෙන්තු ඉල්ලයි

මැයි 21, 2024

    ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ගාසා තීරයේ හමාස් නායක යහ්යා සින්වාර් හට යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

    ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය එල්ල කළ දින සිට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දෙදෙනාම සාපරාධී වගකීම දැරූ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන බවයි, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසන්නේ.

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් කේසී පවසා සිටියේ, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝෆ් ගැලන්ට් සහ හමාස් දේශපාලන නායක ඉස්මායිල් හනියෙහ් සහ එම කණ්ඩායමේ හමුදා ප්‍රධානී මුහමඩ් ඩෙයිෆ් ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය බවයි.


    අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට සාක්ෂි ප්‍රමාණවත් යැයි ඔවුන් විශ්වාස කරනවාද යන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් දැන් තීරණය කරනු ඇති බවයි ඔහු පවසන්නේ. ඊට සති හෝ මාස ගත විය හැකි දෙයක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    දෙපාර්ශවය අතර යුද්ධයෙන් 35,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සැසඳීම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2024 12:08

    Latest News