ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටෙයි

ජූනි 02, 2023

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ වේදිකාව මත ඇදවැටීම සම්බන්ධයෙන් යළිත් වරක් මාධ්‍යවල අවධානය යොමු වී තිබෙනවා.

    මෙය සිදුව ඇත්තේ, අමෙරිකාවේ කොළරාඩෝහි ගුවන් හමුදා ඇකඩමියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී.

    දැනට අමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයා වන්නේ ජෝ බයිඩන්. එම තනතුර දැරීමට ඔහුට වයස වැඩි බවට ඇතමුන් චෝදනා කරනවා. ඔවුන් කියා සිටින්නේ, යළිත් වරක් ජනාධිපතිවරණ සටනට පැමිණීමට ඔහුගේ වයස වැඩි බවයි. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ වේදිකාව මත පිහිටි වැලි බෑගයක පාදය පැටලීම නිසා තමා ඇදවැටුනු බව ජනාධිපතිවරයා පවසනවා‍. ඔහුගේ දේශනය පැවැත්වීමට භාවිත කළ ටෙලිප්‍රොම්ටරය පෙරලීම වැළැක්වීම සඳහා එම වැලි බෑග් යොදා තිබුණා. උත්සවයේදී ජනාධිපතිවරයා ඩිප්ලෝමාධාරීන් 921 දෙනාටම අතට අත දී සුබ පතා තිබෙනවා. ඒ සඳහා පැය එකහමාරකට අධික කාලයක් ඔහු සිටගෙන සිටි අතර, ධවල මන්දිරය සඳහන් කරන්නේ, ජනාධිපති බයිඩන් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

    Latest News