තෙවැනි වරටත් බයිඩන්ට කොවිඩ්

ජූලි 18, 2024

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව, ධවල මන්දිරය නිවේදනය කරනවා. ජනාධිපතිවරයා, කොවිඩ් එන්නත් ලබා ගෙන ඇති අතර, ඉන් පසුව බූස්ටර් මාත්‍රාව ද ලබා ගෙන ඇති බවයි, ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කරන්නේ. 

    ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වූ තුන්වැනි අවස්ථාව මෙයයි. 81 හැවිරිදි වියේ පසු වන ජනාධිපතිවරයා, ලාස්වේගාස් හි පසුගියදා පැවති රැලියකට ද සහභාගී වුණා. නමුත්, ඔහු එදින රාත්‍රියේ සැලසුම් කර තිබූ රැලිය ඇමතීම, සිදු නොකළ බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ.

    ජනාධිපති බයිඩන්ට, ඔහුගේ වයස හේතුවෙන් ජනාධිපති සටනින් ඉවත් වන ලෙස  බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක, මෙම රෝගය වැලැඳීම නිසා එම බලපෑම් වර්ධනය වනු ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ජනාධිපතිවරයා, මේ වන විට ‘ඩෙලවෙයා’ හි පිහිටි ඔහුගේ නිවසේ නිරෝධායන ලක් කර තිබෙනවා.

    එසේ වුවද ඔහු, පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරත වන බවයි, ධවල මන්දිරය පවසන්නේ. බයිඩන් ජනාධිපතිවරයාට, සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වන බව ද වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News