සියවසේ දරුණුම දුම්රිය අනතුර !

ජූනි 03, 2023

    ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රී 7ට පමණ බිහිසුණු දුම්රිය අනතුරක් සිදු වුනා.

    අනතුරින් මේ වන විට පුද්ගලයින් 288 දෙනෙකු මියගොස් 900 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

    දුම්රිය ස්ථානයේ යාබද දුම්රිය මාර්ගයක ධාවනය වූ චෙන්නායි කොරොමන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පීලි පැනීමට ලක්ව එහි මැදිරි කිහිපයක් පෙරළී ගියා. යාබද මාර්ගයේ ධාවනය වූ යස්වන්ත්පූර් සිට හවුරා දක්වා ගමන් කරන හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය එම පෙරළී ගිය දුම්රිය මැදිරි වල ගැටී, යාබද මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී මෙම අනතුර සිදු වුනා.

    බලසෝර් දිස්ත්‍රික්කයේ ගිලන්රථ 200 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යවා ඇති බවත් වෛද්‍යවරුන් 100ක් පමණ අතිරේකව යොදවා ඇති බවත් දිස්ත්‍රික් ලේකම් පවසනවා.

    දිවි ගලවා ගත් සමහර මගීන් සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමට යුහුසුලු වන අතර තුවාල ලැබූ මගීන් ප්‍රවාහනය කිරීමට දේශීය බස් සමාගම් ද උදව් කර තිබෙනවා.

    මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීන් පවසනවා. ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ලෝකයේ විශාලතම දුම්රිය ජාලයක් ඇති ඉන්දියාවේ, දරුණුතම දුම්රිය ව්‍යසනය වූයේ 1981 දී. ඒ බිහාර් ප්‍රාන්තයේ සුළි කුණාටුවක් අතරතුර, මගී දුම්රියක් පීලිවලින් ඉවතට ගොස් ගඟකට වැටී පුද්ගලයින් 800 පමණ මිය යාමයි.

    Latest News