ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ දී බිළි‍‍‍ඳෙකුට මොළයේ ශල්‍යකර්මයක්

මැයි 05, 2023

    ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

    මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ, බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින්. ඉකුත් මාර්තු මාසයේදී සිදු කළ මෙම ශල්‍යකර්මය පිළිබඳව ඊයේ ස්ට්‍රෝක් සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණා.

    සති 34 ක පමණ කාලයක් වූ බිළිඳු කලලයෙහි මොළය ආශ්‍රිතව මෙම විශේෂිත ශල්‍යකර්මය සිදු කළ බවයි, වාර්තා වන්නේ. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් මගින් මෙම බිළිඳු කලලයෙහි මොළය තුළ “වෙයින් ඔෆ් ගෙලන් මැල්ෆොමේෂන්” ලෙස හැඳින්වෙන දුර්ලභ ගනයේ මොළය ආශ්‍රිත රෝගී තත්වය වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කෙරුණා. මොලයේ සිට හදවත දක්වා රුධිරය ගෙන යන රුධිර නාලය නිසිලෙස වර්ධනය නොවීම එම රෝගී තත්වයයි. ඒ හේතුවෙන් ඇතිවන විකෘතිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධික රුධිර ප්‍රමාණයක් රුධිර නාල සහ හෘදය ආතතියට පත් කරමින් කලලයට සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානමක් පවතින බවයි, වෛද්‍යවරුන් පවසන්නේ. කෙසේ වෙතත්, මෙම ශල්‍යකර්මය සිදු කළ බොස්ටන් හි වෛද්‍යවරුන් කණ්ඩායම සඳහන් කරන්නේ, දරුවා ඉපදීමෙන් පසුව සිදු කරන මෙවැනි ශල්‍යකර්ම ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වූ කලලයක මොලයේ රුධිරවාහිනී තුළ සාර්ථකව සිදු කර එහි ඇති ගැටලු නිරාකරණය කිරීමට හැකි වීම සැබැවින්ම ආශ්චර්යක් වන බවයි.

    Latest News