ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ සූදානමක්

මාර් 31, 2023

    අමෙරිකා‍වේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිව්යෝර්ක් ජූරි සභාවක් සූදානම් වනවා.

    එරට හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ, ප්‍රථම වරටයි.

    2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම ඇතුළු චෝදනා 30 කට වැඩි සංඛ්‍යාවක් ඔහුට එරෙහිව එල්ල කිරීමේ සූදානමක් පවතින බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම චෝදනා අතර, ව්‍යාපාරික වංචාවන් කිහිපයක් ද වන බව, ඇතැම් මාධ්‍ය පවසනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන අඟහරුවාදා මේ සම්බන්ධයෙන් එරට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි. ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, හිටපු ජනාධිපති ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට ද, සූදානමක් පවතින බවයි. ඔහුට එල්ල කෙරෙන චෝදනා කුමක්ද යන්න පිළිබඳව නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නැහැ. කෙසේ වුවද, එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ, තමාට එරෙහි චෝදනා දේශපාලනික අරමුණෙන් සිදු කරන්නක් බවයි. තමා කිසිඳු අයුරක නීති විරෝධි ක්‍රියාවක නිරත වී නොමැති බව, ඔහු අවධාරණය කරනවා. මේ අතර, දේශපාලනික විචාරකයින් පවසන්නේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පවතින තත්වය මත තවදුරටත් ඉහළ‍ ගොස් ඇති බවයි.

    Latest News