රුසියාවට තවදුරටත් සම්බාධක පනවන ලෙස යුක්‍රේන ජනාධිපති G7 කණ්ඩායමෙන් ඉල්ලයි

ඔක් 12, 2022

    රුසියාවට තවදුරටත් සම්බාධක පනවන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි “ජී 7” කණ්ඩායමේ ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මාර්ගගත ක්‍රමවේදයට ඊයේ , පැවති “ජී 7” විශේෂ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඔහු එම ඉල්ලීම සිදු කළා. ඉකුත් සඳුදා රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යුක්‍රේන නායකයා ඉල්ලා සිටියේ, මෙම නව ත්‍රස්තවාදී රැල්ල වැළැක්වීමේ පියවරක් ලෙස රුසියාවට තවදුරටත් සම්බාධක පනවන ලෙසයි.

    රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ මෙම හදිසි සමුළුව කැඳවූයේ ද රුසියා - යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රමුඛ අරමුණින් යුතුවයි. ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊට සම්බන්ධ වූයේ පවතින තත්වය පිළිබඳව ‍යුක්‍රේනය වෙනුවෙන් අදහස් දැක්වීමටයි.

    රුසියාව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම තම රට දීර්ඝ කාලීනව අස්ථාවර කිරීමට හේතු වී ඇති බව, ඔහු ප්‍රකාශ කළා.

    මෙහිදී කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන “ජී 7” රටවල් තවදුරටත් යුක්‍රේනයට මූල්‍ය, මානුෂීය, යුද, රාජ්‍යතාන්ත්‍රික සහ නෛතික සහය ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. අර්බුදය සමතයකට පත් වීමට කෙතරම් කලක් ගතවුවද, යුක්‍රේනයට අඛණ්ඩ සහය ලබා දීමට, එම රටවල් එකඟතාවට පැමිණ සිටිනවා.

    Latest News