රැජිනගේ දේහය, මහජන ගෞරවය සඳහා ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දේවස්ථානයේ

සැප් 13, 2022

    අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහරැජිනගේ දේහය, මේ වන විට ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

    දේහය අද ලන්ඩන් බලා රැගෙන යාමට නියමිතයි.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දසදහස් ගණනින් ජනතාව පැමිණෙමින් සිටිනවා. ඇතැම් අයට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 6කට ආසන්න කාලයක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදූවූ බවයි, වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ, ‍එරට වේලාවෙන් අද පස්වරු 5.00 දක්වා ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දේවස්ථානයේ රැජිනගේ දේහය තැන්පත් කර තබන බවයි. රැජිනගේ දේහයට ස්කොට්ලන්තයේදී ඇයගේ දරුවන් චාරිත්‍රානුකූල ගෞරව දැක්වීම ඊයේ සිදු කළා. ඊට ඇයගේ දරුවන් වන තුන්වැනි චාල්ස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු සහභාගී වුණා.

    ලබන 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇ‌බේ දේවස්ථානයේ පැවැත්වෙන රැජිනගේ අවමගල්‍ය උත්සවය සඳහා සහභාගී වන රාජ්‍ය නායකයින් හට උත්සවයට සහභාගී වීමේදී පොදු ප්‍රවාහන සේවා බස්රථවලින් පැමිනෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි, වාර්තා වන්නේ. එසේම, රාජ්‍ය නායකයින්ට එරටට පැමිණීමේදී ද වාණිජ ගුවන්යානාවලින් පැමිණෙන ලෙසද, දැනුම්දී  තිබෙනවා. දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සුවිශේෂී රාජ්‍ය උත්සවයක් ලෙස දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අවමංගල්‍යය උත්සවය හැඳින්විය හැකියි.

    Last modified on අඟහරුවාදා, 13 සැප්තැම්බර් 2022 14:36

    Latest News