යුක්‍රේනය අද සිය නිදහස් දිනය සමරයි

අගෝ 24, 2022

    අභියෝග රැසකට මුහුණ දෙමින්, යුද ගැටුම් මැද යුක්‍රේනය, අද සිය නිදහස් දිනය සමරනවා. ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලා සිටින්නේ නිදහස් දින සැමරුමේ දී සිය වැසියන්ට එහි අර්ථය නිසි ආකාරව විඳ ගැනීමට  ඉඩහසර සලසා දෙන ලෙසයි.

    යුක්‍රේනය අතීතයේ  සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවතියා. එම පාලනයෙන් මිදී ‍ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දිනය, යුක්‍රේනයේ  නිදහස් දිනය ලෙස සලකනු ලබනවා. එලෙස යුක්‍රේනයට නිදහස ලැබුණේ 1991 අගෝස්තු 24 වැනිදායි. යුක්‍රේනය අද සිය නිදහස් දිනය  සමර‍න්නේ, ඉකුත් පෙබරවාරි 24 වැනිදා සිට ආරම්භ වී,  දිනෙන් දින දික්ගැස්සෙන යුද්ධයට

    මාස 6 ක් ගත වී ඇති පසු බිමකයි. මේ වන විටත්, යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් යුද ගැටුම් පවතිනවා. මේ අතර,  යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ, යළි කෙසේ හෝ "ක්‍රිමියා අර්ධද්වීපය" අත්පත් කර ගන්නා බවයි.

    "ක්‍රිමියා අර්ධද්වීපය" යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් වුවත්, 2014 වසරේ සිට එය රුසියාව විසින් අත්පත් කර ගනු ලැබුවා.

    මිලියන 2.4 ක ජනගහනයක් වෙසෙන ක්‍රිමියා අර්ධද්වීපයේ වැඩි දෙනෙකු සහය පළ කරන්නේ, රුසියානු රජයටයි. මේ අතර, දෙරටේ යුද්ධය මුල් කර ගනිමින් අමෙරිකාව, යුක්‍රේනයේ සිය තානාපති කාර්යාලයේ ඉතිරිව සිටින නිලධාරීන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙතෙක් යුද්ධයෙන් මිය ගිය යුක්‍රේන සෙබළුන් ප්‍රමාණය 9,000 ඉක්ම වනවා. සිවිල් වැසියන් 6,000 කට ආසන්න පිරිසක් ද මිය‍ ගොස් ඇති බවයි, වාර්තා  වන්නේ. එමෙන්ම, රුසියානුවන් විශාල ප්‍රමාණයක් ද මිය ගොස් අවසන්.‍

    Last modified on බදාදා, 24 අගෝස්තු 2022 11:42

    Latest News