ට්‍රම්ප්ගේ නිවසට FBI එකෙන් පනී

අගෝ 09, 2022

    අමෙරිකානු එෆ්.බී.අයි ආයතනයේ නිළධාරීන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාහි පිහිටි නිවස හදිසියේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

    ට්‍රම්ප් පවසන්නේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් කඩාපැන ඔහුගේ නිවසේ සේප්පුවක් කඩා, පරීක්ෂා කර ඇති බවයි.

    වැටලීම සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බව “එෆ්. බී. අයි” ආයතනය පවසනවා. හිටපු ජනාධිපතිවරයා රාජකාරී ලිපි පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව මෙම වැටලීම සිදුකර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024 ජනාධිපතිවරණයට සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙවැන්නක් සිදුවීම පිළිබඳව දැඩි මතභේද හටගෙන තිබෙනවා. වැටලීම කරන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා නිව්යෝක් නගරයේ සිටි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. ඊට ට්‍රම්ප්ගේ විරෝධය පළ වී තිබෙනවා.

    ඔහු පවසන්නේ අමෙරිකාවේ අඳුරු කාලපරිච්ඡේදයක් උදාවී ඇති බවයි. පරීක්ෂණවලදී තමන් සියලුම ආයතන සමග සහයෝගයෙන් ක්‍රියා කළ නමුත්, නොදන්වා සිදුකරන මෙවැනි වැටලීම් අනවශ්‍ය බවද ට්‍රම්ප් කියා සිටියා. මෙවැනි ක්‍රියා රජ්‍ය විශමාචාර්යන් බවයි, ට්‍රම්ප් පවසන්නේ. මෙය තමා යළි ජනාධිපතිධුරයට තරඟ කිරීම වැළැක්වීමට ගන්නා උත්සාහයක්. තුන්වන ලෝකයේ රටවල පමණක් සිදුවන මෙවැනි ක්‍රියා නිසා අමෙරිකාවද තුන්වැනි ලෝකයේ රටක් බවට පත්වී ඇතැයි, හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මරලාගෝ යනුවෙන් හැඳින්වෙන ඔහුගේ මෙම නිවස මිළ අධික පෞද්ගලික සමාජ ශාලාවක් සහිත අතර, හිටපු ජනාධිපතිවරයා බොහෝ සති අන්තවලදී මෙහි පැමිණෙන බවයි, පැවසෙන්නේ.

    Latest News