සිය න්‍යෂ්ටික අවි පරීක්ෂා කිරීමේ අවසරය රුසියාව තාවකාලිකව නවතයි

අගෝ 09, 2022

    සිය න්‍යෂ්ටික අවි පරීක්ෂා කිරීමට අමෙරිකාවට අවසර ලබාදීම තාවකාලිකව නතර කරන බව, රුසියාව පවසනවා.

    ඒ, දෙරට අතර ඇතිකරගෙන තිබෙන අවි පාලන ගිවිසුම හේතුවෙන්.

    රුසියාව පවසන්නේ, යුක්‍රේන අර්බුධය හේතුවෙන් අමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් සමග දෙරට අතර ඇති සබඳතා වෙනස් වී ඇති බවයි. සම්බාධක හේතුවෙන්, අමෙරිකානු භූමියේ පරීක්ෂා කිරීම් සඳහා ඇති හැකියාව වළක්වා, ඒ තුළින් වාසි ලබාගැනීමට අමෙරිකාව උත්සාහ දරන බවට, රුසියාව චෝදනා කරනවා. 2011 වසරේ ඇතිකරගත් “නිව් ස්ටාර්ට්” නැමති ගිවිසුමට අනුව රටක පවත්වාගත හැකි දිගු දුර න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 1,550 කට සීමා වනවා. එසේම, ඒවා පරීක්‍ෂා කිරීමට දෙරටේ නියෝජිතයින්ට අවසර ද හිමි වනවා. මෙම ගිවිසුම 2026 වසර දක්වා බලපැවැත්වෙනවා. රුසියාව පවසන්නේ, ගිවිසුමේ ඇති වගන්තිවලට අනුව සිය න්‍යෂ්ටික අවි පරීක්‍ෂා කිරීමට, අවසර ලබාදීම තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි. නමුත් ගිවිසුමේ අනෙකුත් සියලු කොන්දේසි ආරක්ෂා කරන බවයි, රුසියාව පවසන්නේ. අමෙරිකාවේ පැතිර යන කොරෝනා වසංගත රැල්ලද මෙම තීරණයට හේතු වූ බව, රුසියාව පවසනවා.

    Latest News