ගෝලීය ආහාර අර්බුදයකට රුසියාව හේතුවක් ද ?

ජූලි 25, 2022

    ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමට රුසියාව හේතු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, අරාබි ලීගයේ තානාපතිවරුන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී හමුවූ අවස්ථාවේ.

    ලැව්රෝෆ් පවසන්නේ, රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෝලීය ආහාර නිෂ්පාදනයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව බටහිර රටවල් සත්‍ය වසන් කරන බවයි. රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව බෙහෙවින් තර්ජනයකට ලක්ව ඇති බවද ඔහු කියා සිටියා. අරාබි රටවල් සහ අප්‍රිකානු රටවල් රැසක් මේ වන විට උග්‍ර ධාන්‍ය හිඟයකට මුහුණ දී සිටිනවා. යුක්‍රේන අර්බුදය, රුසියාවට සම්බාධක පැනවීම සහ යුක්‍රේනයේ නිෂ්පාදිත ධාන්‍ය අපනයනය කිරීමේ අපහසුතාව ඊට ප්‍රධාන ලෙස බලපා ඇතැයි සඳහන්. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා යුක්‍රේනය, රුසියාව, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව යුක්‍රේනයේ ධාන්‍ය අපනයනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියා. ඒ හේතුවෙන් ඉදිරියේදී ධාන්‍ය හිඟය පහව යනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News