ෂිංසෝ අබේට ලබා දී තිබූ ආරක්ෂාව ගැන ගැටළුවක්

ජූලි 10, 2022

    ජපාන හිටපු අගමැති ෂිංසෝ අබේගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයට අනුව, ඔහුට ලබා දී තිබූ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් පැවති බව වාර්තා වනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබා දී තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැවති බවට පිළිගන්නා බව, ජපාන ආරක්ෂක අංශ ප්‍රධානීන් ප්‍ර කාශ කර ඇති බවයි.

    ජපාන හිටපු අගමැති ෂිංසෝ අබේගේ දේහය ටෝකියෝහි පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ජපාන හිටපු අගමැති ෂිංසෝ අබේ ගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළ කර ඇති අතර, ඔවුන් සියලුදෙනා පවසන්නේ, එම මරණය තමන් දැඩි කම්පාවට පත් කළ බවයි. එක්සත් ජනපද නායක ජෝ බයිඩන් ඊයේ සිය ශෝකය පළ කරමින් ජපාන හිටපු අගමැතිවරයාට උපහාරයක් ලෙස සති අන්තයේ එරට ධඡය අඩකුඹු කර තැබීමට ද පියවර ගත්තා.

    බ්‍රසීල නායක ජයර් බොල්සොනාරෝ රට තුළ දින තුනක ශෝක කාලයක් නම් කළා. ඔහු ප්‍රකාශ කළේ, ෂිංසෝ අබේ යනු ශ්‍රේෂ්ඨ නායකයෙකු බවයි. ජපාන හිටපු අගමැතිගේ අනපේක්ෂිත වියෝව පිළිබඳව බ්‍රිතාන්‍ය මහ රැජින ද සිය ශෝකය පළ කර තිබූ අතර, අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ, මෙම ඝාතනය ඉතා නින්දිත ක්‍රියාවක් බවයි.

    ෂිංසෝ අබේ සිය අසල්වැසි රටවල් සමග සබඳතා ඉතා යහපත් ආකාරයෙන් පවත්වා ගත් විශිෂ්ට නායකයෙකු බව, රුසියානු ජනාධිපති ‍ව්ලැද්මීර් පුටින් ශෝකය පළ කරමින් සඳහන් කළා. යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ද ජපාන හිටපු අගැමතිගේ වියෝව පිළිබඳව සිය ශෝකය පළ කර තිබුණා.

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:18

    Latest News