COVID-19 රෝගයේ අද වන විට ලෝක තත්වය

අප්‍රේ 23, 2020

    කොරෝනා වෛරසයෙන් මින් පෙර වැඩිම බලපෑමට ලක් වූ රටවල් ලෙස ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සැලකේ.

    කෙසේ වුවත්, මේ වනවිට එම රටවල කොරෝනා බලපෑමහ ක්‍රම යෙන් අඩුවෙමින් පවතී. ඒ අනුව, ඉතාලියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව මරණ 437ක් ද ස්පාඤ්ඤයෙන් 435ක් ද, ප්‍රංශයෙන් 544ක් වාර්තා විය.

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කළ යුරෝපා රටක් ලෙස ජර්මනිය සැලකේ. කෙසේ වුවත්, සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව සියලුම රටවැසියන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබේ. තව ද ජ්‍යෙෂ්ඨ පිළිවෙළට පන්ති ආරම්භ කරමින්, එරට පාසල් කඩිනමින් යළි විවෘත කිරීමට ද ඔවුන් අපේක්‍ෂා කරයි. මේ අතර, ජර්මානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන බයෝටෙක් සමාගම කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් අත්හදා බැලීමට සූදානම්ව සිටී. මේ එන්නත් ජර්මානු එන්නත් නියාමකය විසින් දැනටමත් අනුමත කර ඇති අතර, එය මේ වසර තුල අත්හදා බැලීමට අපේක්‍ෂිතයි. ප්‍රථම අදියර සඳහා ලොව පුරා සිටින සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 200ක් පමණ යොදා ගැනීමට නියමිතවේ. මේ සමඟම ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් එක්ව නිපදවූ තවත් එන්නතක් මේ වසර තුලම අත්හදා බැලෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යන තවත් රටක් බවට තුර්කිය මේ වනවිට පත්ව තිබේ. ඉකුත් පැය 24 තුළ ද එරටින් නව ආසාදිතයින් 3,000කට අධික පිරිසක් සහ මරණ 117ක් වාර්තා විය.

    කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 36ක්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 681ක්.

    මේ අතර, පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව පරීක්‍ෂණයකින් තහවුරු වී තිබේ. පරීක්‍ෂණය පැවැත්වුණේ, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ දානපතියෙකු සමඟ පසුගියදා සම්බන්ධතා පැවැත්වීම හේතුවෙනි.

    කොරෝනා වෛරසයෙන් ඉතාලියේ කෘෂි කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය. වෛරස් ව්‍යාප්තිය පාලනයට රට වසා දැමීම හේතුවෙන් එරට ගොවීන්ට සිය අස්වනු බෙදා හැරීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ඔවුන්ට සිය අස්වනු විනාශ කර දැමීමට සිදුව ඇත.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක කොලොම්බියානු යුවලක් සිය මංගල උත්සවය පවත්වා තිබේ. මෙම යුවළ රට තුළ වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස් අහිමි පුද්ගලයන්ට ඉදි කළ තාවකාලික නැවතුම් පොළක දී හමුවීම විශේෂත්වයක්.

    චීනයේ වූහාන්හි ඉදි කළ තාවකාලික රෝහල ඉකුත් දා වසා දැමිණ. බලධාරීන් අපේක්‍ෂා කරන්නේ, ඊට අවශ්‍ය පහසුකම් තවදුරටත් ලබාදී එය යළි විවෘත කිරීමටයි.

    මේ අතර, බොලිවියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන්, ආරක්‍ෂක ඇඳුම් කට්ටල නොමැති බව පවසමින් විරෝධතාවක නිරතව සිටී.

    Latest News