කොරෝනා වෛරස් මර්දනයට අමෙරිකාව ග්‍රීන් කාඩ්පත් අත්හිටුවයි

අප්‍රේ 23, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්ති මර්දනයේ තවත් පියවරක් ලෙස අමෙරිකාව ග්‍රීන් කාඩ්පත් තාවකාලිකව අත්හිටුවයි.

    ඒ අනුව නිකුත් කරනු ලබන ග්‍රීන් කාඩ්පත් තාවකාලිකව අත්හිටුවීමේ විශේෂ විධායක නියෝගයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. නියෝගය දින 60ක් සඳහා බලපැවැත්වේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකානුවන්ගෙන් රැකියාවලට සිදුව ඇති බලපෑම අවම කිරීම මෙම තීරණයේ අරමුණයි. මෙම දින 60 අවසානයේ නියෝගය තවදුරටත් දීර්ඝ කරනු ඇත්දැයි තීරණය කරනු ඇත. කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ ආර්ථිකයට ද දැඩි බලපෑම් සිදුව ඇති අතර, එරට රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. කෙසේ වුවත් ඇතැම් විචාරකයන් පවසන්නේ දිගු කාලයක සිට ජනාධිපති ට්‍රම්ප්ගේ මුඛ්‍ය අරමුණක්ව පැවති සංක්‍රමණික ගැටලුව විසඳීමට ඔහු කොරෝනා වෛරසය භාවිත කරන බවයි. ඉකුත් පැය 24 තුළ කොරෝනා නව මරණ 2,341ක් අමෙරිකාවෙන් වාර්තා විය.

    මේ අතර අමෙරිකාවේ නිව්යෝර්හි සුරතලයට ඇති කළ බළලුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙය අමෙරිකාව තුළ ගෘහස්ත සතුන්ට වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාවයි. මේ වනවිට එම බළලුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 19:27

    Latest News