"කොවිඩ් 19"ගෝලීය වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

මාර් 12, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලිය ද ඒත් සමගම එරට ආහාර අලෙවිසැල් හා ඖෂධහල් හැර අනෙකුත් සියලුම කඩ සාප්පු ද වසා දැමීමටයි, කටයුතු කර ඇත්තේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ දහතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා රටවල් ගණනාවක යම්කිසි රෝග තත්වයක් එකවර දරුණු ලෙස පැතිර යාමේ දීයි, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ. මේ වන විට ඉන් වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලියේ ආසාදිත පිරිස 12,000 ඉක්මන අතර මියගිය සංඛ්‍යාව 827ක්. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ කියා සිටියේ අවන්හල්, පාසල් හා අත්‍යවශ්‍ය නොවන සමාගම් ඇතුලු සියලුම ස්ථාන වසා දැමීමට කටයුතු කරන බවයි. ලොව පුරා 126,000කට අධික වෛරස් ආසාධිතයින් හඳුනාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව 4,600කට අධිකයි. කෙසේ වෙතත් රටවල් 124ක පමණ ව්‍යාප්තව ඇති වෛරසයෙන් සුවය ලැබූ පිරිස 68,000 ඉක්මවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වාර්තා වන නවතම රටවල් ලෙස, හොන්ඩුරාස්,බොලීවියා සහ තුර්කිය සැලකේ.

    වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඩෙන්මාර්කය එරට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට ද කටයුතු කර තිබේ. එරටින් වාර්තා වන වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 541ක්. ලතින් අමෙරිකානු රාජ්‍යයන් ද වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම් වෙයි. ඒ සඳහා කලාපීය රටවල් එක්ව ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට කලාපීය රටවල නායකයින් සාකච්ජා කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ආජන්ටිනාවෙන් පළමු කොරෝනා වෛරස් මරණය වාර්තා වූ අතර එය ලතින් අමෙරිකානු කලාපයේ වෛරස හේතුවෙන් සිදුවූ පළමු මරණයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 17:09

    Latest News