ජර්මනියේ 70% කට “කොරෝනා“ ආසාදනයවීමේ අවදානමක්

මාර් 11, 2020

    ජර්මනියේ ජනගහනයෙන් 70%ක් එනම්, පන් කෝටි අසූ ලක්‍ෂයක පිරිසක් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරුවීමට ඉඩ ඇති බවට, එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් අනතුරු අඟවනවා.

    මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව අද දහස ඉක්මවූවා. රෝගය මේ වනවිට යුරෝපය පුරා ශීග්‍රයෙන් ව්‍යාප්ත වනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක්, එනම් දස දහස් 149ක් වාර්තා වන්නේ ඉතාලියෙන් පසුගිය බදාදා එරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2,500ක් පමණ වුණා. එහෙත්, සතියක් තුළ එම සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගිය බව, සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. ඉතාලිය අද දෙවැනි දිනටත් සම්පූර්ණයෙන්ම නිරෝධායනයට ලක්කර තිබුණා.

    රටේ සියලු පාසල්,කෞතුකාගාර, පුරා විද්‍යාත්මක හා සංචාරක ආකර්ෂණීය ස්ථාන, රාත්‍රී සමාජ ශාලා හා ක්‍රීඩාගාර දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඉතාලි අගමැතිවරයා රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. වැඩිපුරම හානි සිදුව ඇත්තේ, ඉතාලියේ “කාර්මික හදවත“ ලෙස සැලකෙන, උතුරු දිග ප්‍රදේශයටයි. එම ප්‍රදේශයේ අවමඟුල් උත්සව, ජනතා සහභාගිත්වයෙන් පැවැත්වීම ද තහනම් කරනු ලැබුවා. පුද්ගලයන් දෙදෙනෙකු අතර නිරන්තරයෙන් මීටරයකට වැඩි දුරක් පවත්වාගත යුතු බවයි, ඉතාලි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ. ඊට අමතරව ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවල ද රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

    රෝගය මර්දනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නිව්යෝර්ක්හි වෛරස් ව්‍යාප්තිය බහුල කුඩා නාගරික ප්‍රදේශයක් හමුදාව යොදා සම්පුූර්ණයෙන්ම වසා දැමීමට අමෙරිකානු රජය පියවර ගත්තා. ඒ අනුව, කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට හැකි වන්නේ නැහැ. නිව් රොෂෙල් නමැති එම නාගරික ප්‍රදේශය අවට කිලෝ මීටර 1.6ක කලාපයක් තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. නගරයේ ජනතාවට ආහාර සැපයීම පවා සිදු කරන්නේ හමුදාව විසින්. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනී නේඩින් ඩොරිස්, කොවිඩ් නයින්ටීන් රෝගයට ගොදුරු වී ඇති බව අද එරට රජය තහවුරු කළා. ඇය තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    රෝගය ව්‍යාප්තවීමත් සමඟ ලොව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය ගුවන් සේවය “ඊසි ජෙට්“, “රයින් එයාර්“ නෝවීජියානු ගුවන් සේවය හා අමෙරිකානු ගුවන් සේවය විශාල වශයෙන් තම සේවාවන් නවතා දමා තිබෙනවා.

    අද වනවිට කොවිඩ් නයින්ටීන් රෝගය රටවල් 120කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව, එක් ලක්‍ෂ විසි එක්දහස් 508ක්. මියගිය සංඛ්‍යාව 4,383ක් ලෙස වාර්තා වනවා.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 20:23

    Latest News