යුක්‍රේන ගුවන්යානයට ප්‍රහාර එල්ල කළේ ඉරානය බව පිළිගනී

ජන 11, 2020

    යුක්‍රේන මගී ගුවන්යානය විනාශ වූයේ තම හමුදා සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බව ඉරානය අද පිළිගෙන තිබේ. අත්වැරැද්දකින් යානයට මිසයිල එල්ල කෙරුණු බවයි ඉරාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

    අනතුරින් 176 දෙනෙකු මිය ගියේය. පසුගිය බදාදා ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළින් ගුවන් ගතවී මඳ වේලාවකින් යුක්‍රේන ගුවන් සේවයට අයත් අංක ජී.එස්.752 දරණ යානය ගිනිගෙන කඩා වැටිණ. ඒ මොහොතේ දී ඉරානය, ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් තිබිණ. මුල් අවස්ථාවේදීම ඉරානය කියා සිටියේ මිසයිල ප්‍රහාර සිද්ධිය හා යානයේ අනතුර එකිනෙකට සම්බන්ධයෙන් නොමැති බවයි, යානය කඩා වැටෙන්නට ඇත්තේ යාන්ත්‍රික දෝෂයක් නිසා විය හැකි බව ඉරානය මුලදී ප්‍රකාශ කළේ.

    එහෙත්, සී.සී.ටීවී දර්ශනවල සටන්ව ඇත්තේ යානය ගුවනේ දී විශාල ගිනි පුලිඟුවන් බවට පත්වී විනාශවන ආකාරයයි. එය කුඩා කැබලිවලට වෙන්වී තිබූ අතර, විශාල ප්‍රදේශයක විසිරී තිබිණ. අමෙරිකානු සහ කැනඩා බුද්ධි අංශ ඊයේ ප්‍රකාශ කර තිබුණේ, යුක්‍රේන යානයට ඉරාන මිසයිලයක් එල්ලවූ ලකුණු දක්නට ඇති බවයි. මේ අනූව, කැනඩා විදේශ ඇමති ප්‍රංශුවා පිලිප් ඊයේ ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. ඔහු කියා සිටියේ, ලෝකය සත්‍ය අපේක්ෂාවෙන් බලා සිටින බවයි. අද නිකුත් කළ නිවේදනය මගින් ඉරාන හමුදාව සඳහන් කරන්නේ, සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට මේ වන විටත් දඩුවම් පමුණුවා ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 14:32

    Latest News