ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ දී දස්කම් දක්වයි

දෙසැ 20, 2019

    Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේදී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී.

    Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී ක්‍රීඩාවකි. ශ්‍රී ලංකා Esports සංගමයේ උත්සාහයේ මූලිකත්වය ගත් ශ්‍රී ලංකා රජය මෑතක Esports ශ්‍රී ලංකාවේ සැබෑ ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක් කළේය. Gamer.LK 2007 වසරේ ආරම්භයේ සිටම මෙරට Esports සඳහා ප්‍රමුඛතම ආයතනයක් වන අතර විවිධ සිදුවීම් හා ක්‍රියාකාරකම් තුළින් අඛණ්ඩව Esports ප්‍රවර්ධනය කර ඇත.

    මෙම වසරේ වෙළඳ සේවා Esports ශූරතාවලියට සමාගම් 115 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරඟකරුවන් 800 කට වැඩි පිරිසක් සහභාගී වූහ. මෙම තරඟාවලිය වසර කිහිපයක සිට වාර්ෂිකව පවත්වනු ලබන අතර, එය මෙම වසරේ නොවැම්බර් මස 9 සහ 10 යන දෙදින රත්මාලන ස්ටයින් ස්ටුඩියෝ හී දී පැවැත්විණි. මෙම තරඟාවලිය මහජනයා සඳහා නොමිලේ නැරඹිමේ අවස්ථාව උදා කර දී තිබූ අතර විවිධ ප්‍රවර්ධන, ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා තරඟ රාශියක් සංවිධානය කර තිබුණි.

    මෙහි දී DOTA 2 ක්‍රීඩාවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ කණ්ඩායම සහභාගී වූ අතර එහිදී Aviators Gaming, ඇතුළු තවත් සමාගම් 19 ක් සමඟ තරඟ වැදුණු ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ශ්‍රීලංකන් ගුවන් සේවය නියෝජනය කරමින් නුවන් විජේසේකර (Inflight Service Delivery), මයිකල් ලියනගේ (Inflight Service Delivery), චිරත් ද මෙල් (Engineering), අරවින්ද පල්ලියගුරුගේ (තොරතුරු තාක්ෂණ) සහ පැතුම් විජයසූරිය (Corporate Quality) සහභාගී වූහ.

    Latest News