සුපිරි පන්දුවාරයේ ජය ශ්‍රී ලංකාවට

අප්‍රේ 02, 2023

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 2023 වසරේ පැවැත් වූ ප්‍රථම T20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (02) සමත් වුනා.

    තරගය පැවැත්වුනේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් පිටියේ දී.

    කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළා. පන්දු වාර 20 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

    වේගවත් ඉනිමක් ක්‍රිඩා කළ චරිත් අසලංක පන්දු 41ක් තුළදී හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 67යි. අබාධයක් හේතුවෙන් කලකට පසු පිටියට පිවිසි කුසල් පෙරේරා නොදැවී ලකුණු 53යි.

    පිළිතුරු ලෙස නවසීලන්ත කණඩායම කඩුලු 8ක් දැවී ලකුණූ 196ක් ලබා ගත්තා. ඩැරී මිචෙල් වේගවත් ලකුණු 66ක් ලබා ගත්තේ පන්දු 44 කදී. මාක් චැප්මන් ලකුණු 33යි. පන්දු යැවීමේදී වනිදු හසරංග, දසුන් ශානක සහ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

    තරගයේ ලකුණූ සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ක්‍රීඩා කිරීමට සිදු වුනා. එහිදී මහේෂ් තීක්ෂණ යැවු පන්දු වාරයට නවසීලන්තයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

    ලකුණු 9 ක ඉලක්කය පන්දු 3ක් තුළ සපුරා ගනිමින් ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළා. ආරම්භක පිතිකරු ලෙස සුපිරි පන්දු වාරයේ පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 2 කදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් නොදැවී ලකුණූ 10ක් ලබා ශ්‍රී ලංකා ජය තහවුරු කළා.

    තරගයේ වීරයා චරිත් අසලංක.

    Latest News