ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ජූලි 03, 2023

    නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලියක් ප්‍රථම වරට ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ, ගාල්ල - අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති තුන් වැනි එක් දින තරගයෙන් ද ජය හිමිකර ගනිමින්.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා. නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 31 කදී කඩුලු දෙකක් දැවි ලකුණු 127 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. සූසි බේට්ස් නොදැවි ලකුණු 63 යි. අනතුරුව තරගය යළි ආරම්භ කෙරුණේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තගරය ජය ගැනීම සඳහා පන්දුවාර 29කදී ලකුණු 196 ක ඉලක්කයක් ලබා දෙමින්.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 6 ක් ඇතුළත දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත්වුණා. අනතුරුව චමරි අතපත්තු සහ නිලුක්ෂි ද සිල්වා තුන් වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ නොබිදුණු සබඳතාව ලකුණු 190 ක්.

    එය වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා කළ ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 යි පන්දු 5 ක දී කඩුලු දෙකක් දැවී ලකුණු 196 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තා.

    ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ, තරග දෙකට එකක් ලෙසයි. මෙය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක් වනවා.

    විශිෂ්ට පිති හරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 80 කදී නොදැවි ලකුණු 140 ක් රැස් කළා. චමරිගේ ‍ඉනිමට 4 පහර 13 ක් සහ 6 පහර 9 ක් ඇතුළත්. නිලුක්ෂි ද සිල්වා නොදැවි ලකුණු 48 යි. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මාන ද්විත්වයම දිනා ගනු ලැබුවේ, චමරි අතපත්තු විසින්.

    Latest News