දවසේ තරුව හෙට අධිකරණයට

නොවැ 06, 2022

    සිඩ්නිහි දී  අත්අඩගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

    ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ඔහුට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් සිදුකරන බවයි.

    මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ධනුෂ්ක නැම්බියාවට එරෙහි තරගය පමණක් ක්‍රීඩා කළා. එහිදී ඔහුට කිසිදු ලකුණක් රැස්කිරීමට හැකිවුණේ නැහැ. අනතුරුව ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණේ ඔහු වෙනුවට අශේන් බණ්ඩාරද කණ්ඩායමට කැඳවමින්. කෙසේ වෙතත්, ධනුෂ්ක ගුණතිලක මෙරටට එවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණේ නැහැ.                                                                                                  

    ඒ සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රකාශ කරන්නේ, ධනුෂ්කගේ ආබාධය සුව වෙමින් පැවතීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමට තීරණය කළ බවයි.  ඔහු එරට දේශගුණයට හුරුවී සිටීමත්,  හදිසියේ ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වුවහොත් කණ්ඩායමට ඇතුලත් කිරීමේ බලාපොරොත්තුවෙන් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායම සමග පුහුණුවීම් සිදුකළ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්. 

    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ මහතා අප කළ විමසීමකදී කියා සිටියේ, ආබාධයෙන් පසුත් ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් කළ බවයි. හැකි ඉක්මනින් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා. 

    මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් සහ  ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඇතුලු පිරිසක් අද සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූවා. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් මෙරටින් ගත හැකි ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.  ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ද ඊයේ අදහස් පළ කළා.

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 20:19

    Latest News