අවසන් ගැටුම හෙට

ඔක් 14, 2022

    ආසියානු කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.00 ට ආරම්භ වන්නේ, බංග්ලාදේශයේ “සිලෙට්” ඡාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 14කට පසුවයි. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන්නේ 2008 වසරේදී.

    අවස්ථා 04කදී එක්දින ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 20 – 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක ක්‍රීඩා කරන්නේ පළමු වරටයි.  හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ඉන්දියාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා කරන 07වැනි අවස්ථාව මෙයයි. මෙවර තරගාවලියේ මූලික ව‍ටයේදී ශ්‍රී ලංකාව තරග 04ක් ජයග්‍රහණය කළ අතර,  තරග 02ක් පරාජයට පත්වුණා.

    ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පකිස්ථානය පරාජය කළේ, ලකුණු 01කින්.ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම මූලික වටයේදී තරග 05ක් ජයග්‍රහණය කළා.  ඔවුන් අවසන් පූර්ව තරගයේදී තායිලන්තය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.   හෙට තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරගවැදීමට නියමිතයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ,  හර්මන්ප්‍රීත් කෝර් විසින්.

    Latest News