පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ඡයක්.

ඔක් 13, 2022

    ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය එක් ලකුණකින් පරාජයට පත් කරමින්. බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්. වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ හර් ෂිකා සමරවික්‍රම ලකුණු 35යි. අනූෂා සංජීවනී ලකුණු 26ක් රැස් කළා. පන්දු යැවීමේදී නෂ්රා සන්ධු ලකුණු 17කට කඩුලු 03යි. තරගය ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 123ක්.‍

    පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 31කටත්, දෙවන කඩුල්ල ලකුණු 47කටත් දැවී ගියා. තෙවන කඩුල්ල දැවී යන විට පකිස්ථාන ලකුණු පුවරුව දැක්වුණේ, 65ක් ලෙසයි. අනතුරුව සිව්වන කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගීමට විශ්මා මාරූෆ් සහ නීඩා ඩාර් සමත්වුණා. සිව්වන කඩුල්ල ලෙස මාරූෆ් දැවී ගියේ ලකුණු 42ක් ලබා සිටියදී. පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 18ක් අවසන් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා. 19 වන පන්දු වාරය අවසානයේ පකිස්ථාන ලකුණු පුවරුව දැක්වුණේ, කඩුලු 05ක් දැවී ලකුණු 114ක් ලෙසයි.

    ඒ අනුව, අවසන් පන්දුවාරයේදී තරගය ජයගැනීම සඳහා පකිස්ථානයට ලකුණු 09ක් අවශ්‍ය වුණා. නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකිවුණේ, ලකුණු 121ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිවුණා. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව  ඉනෝකා රණවීර. ආසියානු කුසලාන ක‍ාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. මීට ‍පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20-20 එක්දින තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

    ඔවුන් ආසියානු ක්‍රීකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්. පසුගියදා ඩුබායි හිදී නිමාවට පත් වූ ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද හිමි කරගත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    ඒ අනුව, තරගාවලියේ අවසන් තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 22:10

    Latest News