ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රභල ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සැප් 07, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු ඇති කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ, මේ වන විට 20-20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ප්‍රබල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, තියුණු සටනකින් පසු පරාජයට පත් කරමින්.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ක්, ලකුණු 13 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ප්‍රථම කඩුල්ල ලෙස, කේ එල් රාහුල් දැවී ගියේ ලකුණු 6 ක් ලබා සිටියදී, මහීෂ් තීක්ෂණ‍ගේ පන්දුවක් හමුවේ. පසුව පිටියට පිවිසි විරාත් කෝලි, ලකුණු නොලබා නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංකට හැකි වුණා. ඉන් පසුව රෝහිත් ශර්මා සහ සූර්ය කුමාර් යාදේව් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 97 ක සබඳතාවක් ගොඩනැගුවා.

    ලකුණු 72ක් ලබා සිටි නායක රෝහිත් ශර්මා දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුණා. නායකත්ව ලක්ෂණ පෙන්වමින් දසුන් ශානක ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු දවා ගැනීමට සමත් වුණා. ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත්තේ, කඩුලු 8 කට ලකුණු 173 ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුශංක කඩුලු 3 ක් ලබා ගත්තා. ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය හොඳ ආරම්භයක් ලබාදීමට සමත් වුණා. කුසල් මෙන්‍ඩිස් සහ පැතුම් නිස්සංක ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සබඳතාවක් ගොඩනැගූ අතර, ප්‍රථම කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 52 ක් ලබා සිටියදී. කුසල් මෙන්ඩිස්, 6 පහර 3 ක් සහ 4 පහර 4 ක් සමගින්, ලකුණු 57 ක් රැස් කළා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 13 ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුණා. කෙසේ වෙතත්, බානුක රාජපක්ෂ සහ දසුන් ශානක‍ගේ සබඳතාවය ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන එනු ලැබුවා. දසුන් ශානක නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේ, 4 පහර 4 ක් සහ එක් 6 පහරක් සමගින්.

    භානුක රාජපක්ෂ ලකුණු 25 යි. තරගයේ අවසන් පන්දු වාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී, ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමි වුණා. ඒ අනුව, සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටිනවා. ඉන්දියාව ලද පරාජයත් සමග ආසියානු කුසලාන අවසන් මහා තරයේ, ඔවුන්ට ඇති අවස්ථාව ගිලිහී ගියා.
    ශ්‍රී ලංකාව, සුපිරි 4 වටයේ සහභාගී වන අවසන් තරගය පකිස්තානයට එරෙහිව ලබන සිකුරාදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

    Latest News