බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේ සුපිරි වටයට

සැප් 02, 2022

    වාර්තාගත ලකුණු හඹා යාමත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි  කණ්ඩායම් 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රීලංකා ඊයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවති තරගය කඩුලු 2 කින් ජයගනිමින්.

    සුපිරි කණ්ඩායම හතර වටය සඳහා බී කාණ්ඩලයෙන් සුදුසුකම් ලබා ගන්නා දෙවැනි කණ්ඩායම තේරීමේ තීරණාත්මක තගරය ඊයේ පැවැත්වුණේ ඩුබායිහිදී. තරග‍යේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

    ඊයේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 20 යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තා. බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ, මෙහෙදි හසන් සහ සබීර් රහමාන්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 19 ක් වන විට සබීර් රහමාන් ලකුණු 5 කට දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට. අසිත දවා ගත් පළමු ජාත්‍යන්තර 20 යි 20 කඩුල්ල එයයි. මෙහිදී හසන් ලකුණු 38 ක් රැස් කළේ, පන්දු 26 කට මුහුණ දෙමින් 4 පහර 2ක් 6 පහර 2 ක් සමග. මුෂ්ෆිකර් රහීම් ලකුණු 4 කටත්, නායක ෂකීබ් අල් හසන් ලකුණු 24 කටයත් දැවී ගියා.          

    අසිෆ් හොසේන් ඉනිමේ  වැඩිම  ලකුණුලාභීයා වෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 39 ක්. පන්දු 22 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්.  බංග්ලාදේශය තම අවසන් පන්දුවාර 3 දී ලකුණු 36 ක් රැස් කළා. ඒ අනුව, පන්දුවාර 20 අවසානයේ දී ඔවුන් කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 183 ක්.‍ මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 27 යි.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මොසඩෙක් හොසේන් පන්දු 9  කදී නොදැවී රැස්  කළ  ලකුණු සංඛ්‍යාව 24 ක්. පන්දු යෑවීමේ දී වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. තරගය ජය ගැනීම සඳහා ලකුණු 184 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා‍ ඉනිම  ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.  ඔවුන් දෙදෙනා ආරම්භ කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව  ලකුණු 45 ක්. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 20 කටත්, දෙවැනි කඩුල්ල ලෙසත් චරිත් අසලංක ලකුණකටයත් දැවී ගියා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 77 කට දැවී ගියා. අනතුරුව කුසල් මෙන්ඩිස් සහ  නායක දසුන් ශානක 5  වැනි කඩුල්ලට ලකුණු 54 ක සබඳතාවක් ගොඩ නැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් තම 20 යි 20 ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකයද වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්.

    පන්දු 37 කදී ගොඩ නැගුණු කුසල්ගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්. නායක දසුන් ශානක  පන්දු 33 කදී ලකුණු 45 රැස් කළා.  ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් 6 පහර 3 ක් ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ 8 වැනි  කඩුල්ල ලෙස ඉනිමේ 18  වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේ දී චාමික කරුණාරත්න දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 171 ක් ලෙසයි.

    ඒ වන විට ශ්‍රී ලංකාවට පන්දු 7 කදී තරගය ජය ගැනීම සඳහා ලකුණු 13 ක් අවශ්‍යව තිබුණා. අනතුරුව පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු තමා මුහුණ දුන් පළමු පන්දුවේ දීම 4 පහරක් එල්ල කළා. යලිත් ක්‍රියාත්මක වූ අසිත 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී යළිත් 4 පහරක් එල්ල කළේ, තරගයේ ජයග්‍රහණයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්. එම පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී අසිත තවත් ලකුණු 2 ක් රැස් කළ අතර, එය නිපන්දුවක් ලෙසයි, සටහන් කෙරුණේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 184 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා. අසිත ප්‍රනාන්දු පන්දු 3 ක දී නොදැවී ලකුණු 10 ක් රැස් කළා.

    මෙම ජයග්‍රහණය ඉතිහාසගත වුණෙ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී  වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් 20  යි 20 තරගය ලෙසයි. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

    Latest News