විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද (වීඩියෝ)

දෙසැ 26, 2019
  • ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදාවන බව, මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    අද උදෑසන පෙ.ව. 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ සූර්යග්‍රහණය නැරඹිය හැකියි.

    සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ යාපනයේ ඩෙල්ෆ් දූපතෙනි. ඉන් අනතුරුව මඩකලපුව වාකරේ ප්‍රදේශයෙන් එය ඉවත්ව යයි. මන්නාරම සහ වාකරේ නගරය කෙරෙන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් දකුණු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වනු ඇති. සූර්යග්‍රහණ මධ්‍ය රේඛාව ශ්‍රී ලංකාවේ යාපනය නගරයට පහළින් වැටී තිබේ. කිළිනොච්චිය ප්‍රදේශයට සූර්යග්‍රහණයේ වළයාකාර බවේ උපරිම අවස්ථාව දැක ගත හැකිය. පූර්ණ ආරම්භය සිදුවන්නේ උදේ 09.37ට එම කාලය විනාඩි 3යි තප්පර දහසයක් පමණ වේ.

    මීට පෙර වළයාකාර සූර්යග්‍රහණයක් ලක්වාසීන්ට දැකගැනීමට ගැනීමට හැකි වූයේ 2010 වසරේ ජනවාරි 15 වැනිදායි. අද ඇතිවන සූර්යග්‍රහණයෙන් පසු නැවත වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්නේ 2031 මැයි 21 වැනිදා බවයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරන්නේ.

    වළයාකාර සූර්යග්‍රහණයකදී සිදුවන්නේ සූර්යය චන්ද්‍රයාගෙන් ආවරණය වී වලල්ලක් ආකාරයට දිස්වීමයි. වළයාකාර සූර්යග්‍රහණයක් අවස්ථාවකදී චන්ද්‍රයා සූර්යාව ආවරණය කරන්නේ චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් ගන්නා මාර්ගයේ පෘථිවිය දුරින්ම ස්ථානයේ සිටයි.

    මෙම සූර්යග්‍රහණය කිසිදු විටෙක පියවි ඇසින් අව් කණ්ණාඩි භාවිතයෙන් නිරීක්ෂණය නොකළයුතු බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි.මෙම සූර්යග්‍රහනය නැරඹීමේ ප්‍රධාන උත්සවය තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 07:18

    Latest News