පාස්කු ප්‍රහාරය - හිටපු ජනපති, අගමැතිගෙන්, කථානායක ප්‍රශ්න කරන්න CID සැරසේ

දෙසැ 23, 2019

    පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලීසිය සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණය හමුවේ කියා සිටියේය.

    මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බවයි, රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.

    මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට රහස් පොලිස් සූදානම්වන බවත් ඔහු කියා සිටියේය. 

    යම් පුද්ගලයකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බව ද දිලීප පීරිස් මහතා, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කියා සිටියේය.

    මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝග කළේය.

    බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 12:44

    Latest News